Home Local බස් නැවතුමේ නවතා තිබූ බසයක් මගීන් සමඟ පිස්සෙක් පදවාගෙන යයි

බස් නැවතුමේ නවතා තිබූ බසයක් මගීන් සමඟ පිස්සෙක් පදවාගෙන යයි

319
0

මාපලගම සිට ඇල්පිටිය හරහා මීගමුව දක්වා දිවෙන ලංගම බස් රථයක් ඇල්පිටිය බස් නැවතුම්පොළේ නතර කර තිබියදී නගරයේ සිටි මානසික රෝගියකු බසයේ සිටි මගීන්ද සමඟ බස් රථය රැගෙන යෑමේ සිද්ධියක් ඇල්පිටිය පොලිසියෙන් වාර්තා වනවා.

ඊයේ (13) සවස 04ට පමණ මෙම බස් රථය එහි සිටි මගීන් සමඟ සුපුරුදු පරිදි ඇල්පිටිය බස් නැවතුම්පොළේ නතර කර තබා එහි රියැදුරු සහ කොන්දොස්තර තේ බීමට අසල අවන්හලකට ගොස් තිබෙනවා.

ඒ අතරතුර බසයට ගොඩවූ තරුණයකු බස් රථය පණගන්වාගෙන බස් මගීන්ද සමඟ බස් රථය නැවතුම්පොළෙන් බැහැරට ගෙන ඇල්පිටිය – අලුත්ගම ප්‍රධාන මාර්ගය ඔස්සේ බසය ධාවනය කරගෙන ගොස් ඇති අතර බස් රථය රැගෙන යද්දී බස් නැවතුමේ නතර කර තිබූ ගාල්ල බලා යෑමට නියමිත බස් රථයකද ගැටීමෙන් එම බස් රථයටද අලාභ හානි සිදුවූ බව ඇසින් දුටුවන් පවසනවා.

ඇල්පිටිය නගරයේ සිට කිලෝමීටර් භාගයක පමණ දුරට බස් රථය රැගෙන එද්දී මාර්ගයේ වාහන තදබදය නිසා එය තරුණ සේවා සභාව ඉදිරිපිට මඳක් නතර කර ඇති අතර, ඒ මොහොතේ ඊට ගොඩවූ රියැදුරකු විසින් බස් රථය මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වන විටත් එහි සිටි මගීන් බියට පත්ව සිට තිබෙනවා.

පසුව එම තරුණයා ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික රෝගියකු බවත් නියාගම, ගෝනලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, දැනට කරන ලද පරීක්ෂණවලදී පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ගයාන් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here