Home Local ”රැකියාවලට බඳවා ගැනීමේ දී වයස් සීමා පැනවීමේ නීතිය ඉවත් කරනවා” – මුදල්...

”රැකියාවලට බඳවා ගැනීමේ දී වයස් සීමා පැනවීමේ නීතිය ඉවත් කරනවා” – මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

1222

රැකියාවන් සඳහා බඳවා ගැනීමේ වයස් සීමා පැනවීමේ නීතිය ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට ඊයේ (11) එක්වෙමින්.

වර්තමානයේ රැකියාවක් සඳහා වැදගත් වන්නේ වයස නොව හැකියාව සහ සදාචාරය බවත් ඒ හේතුවෙන් රැකියා සඳහා යොමුවිය හැකි වයස් සීමා පැනවීම ඉවත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මෙලෙස නීතිය වෙනස් කිරීම තුළ රැකියාවක නිරතවීමට හැකියාව ඇති කාන්තාවන්ට ද ශ්‍රම බලකායට එක්විය හැකි බවයි ඔහු කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”ආර්ථිකයට කාන්තා දායකත්වය ඉතාම අඩුයි. 2006දී වැඩකරන ජනතාවගෙන් 06%ක් කාන්තාවන් සිටියා. අද වන විට එය 36%ක් වෙලා. නමුත් අධ්‍යාපනය ලබන කාන්තාවන් ප්‍රමාණය වැඩියි. කාන්තා ශ්‍රම බලකාය වැඩි කරන්න අවශ්‍ය නීති අපි පසුගිය වසරේ ගෙනාවා.

මවුකිරි දීමේ අයිතිය ලබාදුන්නා. ඒ වගේම ප්‍රසූත නිවාඩු නීතිය වෙනස් කළා. ප්‍රසූත කරන සෑම දරුවෙක් වෙනුවෙන්ම දවස් 84ක නිවාඩුවක් මවට ලැබෙන සේ නීති වෙනස් කළා. නමුත් පොඩි ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා. මේ අයව බඳවා ගන්නා පුද්ගලික අංශය අදිමදි කරනවා. ඔවුන්ට වියදම වැඩියි කියනවා. මේ නිසා ප්‍රසූත නිවාඩු වියදමෙන් කොටසක් රජය පියවන්න තීරණය කළා. එහෙම කළේ කාන්තාවක් ශ්‍රම බලකායට එකතුවීම වැඩි කරන්නයි.

ඒ වගේම තරුණියන් අවුරුදු 25 පමණ වන තුරු ඉගෙනගෙන විවාහ වෙනවා. අවුරුදු 30 පමණ වනවිට දරුවන් ලැබෙනවා. මේ නිසා ඔවුන් රැකියාවකට නොයා දරුවන් බලාගන්නවා. වයස අවුරුදු 40 පමණ වන විට ඒ අම්ම හිතනවා මම ඉගෙනගත්තා මට හැකියාවක් තියෙනවා රැකියාවක් කරන්න කියලා. නමුත් වයස 35ට අඩු අය පමණයි රැකියා සඳහා බන්දවාගන්නේ කියලා නීති තිබෙන නිසා මේ අයට රැකියාවකට යන්න වෙන්නේ නැහැ. වයස අනුව වෙනස්කම් කරනවා. අද රැකියාවක් ලැබෙන්න ඕන හැකියාව සහ සදාචාරය අනුව වයස අනුව නෙවෙයි. ඒ නිසා අපි ඒ නීතිය වෙනස් කරනවා. එවිට කාන්තාවන්ට බාධාවකින් තොරව ශ්‍රම බලකායට එකතු වෙන්න පුළුවන්.

ලංකාවේ ව්‍යවසායකයින් ඉන්නේ 03%යි. අපි එය වෙනස් කරන්න ඕන. කුඩා ව්‍යාපාර තමයි ආර්ථිකයේ කොඳුනාරටිය. ඒ නිසා තමයි අපි ”එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා” වැඩසටහන පටන්ගත්තේ. මේක දීර්ඝකාලීන වැඩසටහනක්. මේ හරහා පසුගිය මාස 03 තුළ පුද්ගලයින් 34,476කට ණය දීලා තියෙනවා. එය කෝටි 6,536ක්. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න ‘ගම්පෙරලිය’ හරහා බොහොමයක් වැඩ කරනවා. අයවැය යෝජනා සියල්ලම ඒ අවුරුද්දෙම ඉවර කරන්න බැහැ. සමහර ඒවා අවුරුදු 2,3 යනවා. 2018 අවුරුද්දේ අයවැයෙන් 64%කට වඩා දැන් අපි කරගෙන යනවා. මේ අවුරුද්දේ අයවැය යෝජනාත් අපිට සම්පුර්ණ කරන්න පුළුවන්. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇති කරනවා කියලා 2015දී පොරොන්දු වුණා. මේ අයවැයෙන් සමාජ වෙළඳපොළ ආතිකයක් ඇති කරන තැනට අපි යොමුවෙලා තිබෙනවා.” යයි සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here