ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් සිටි මැලේසියානු ජාතික වියපත් කාන්තාවක් ඇය ගමන් කරමින් සිටි ගුවන් යානය තුළදීම මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු සඳහන් කර සිටියා.
ඇය සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි 65 හැවිරිදි මැලේසියානු ජාතික කාන්තාවකි.
සෞදි අරාබියේ ජෙඩා නුවර සිට අද (11) දින අලුයම 4.35ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 282 දරන ගුවන් යානය තුළ ගුවනේ දී ඇය මියගොස් සිටියා.
මේ පිළිබඳව යානයේ ගුවන් නියමුවා විසින් දැනුම් දීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් ඇයගේ සිරුර මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළ වැඩබලන ස්ථානාධිපති සුනෙත් වර්ණසූරියගේ උපදෙස් සහ අධීක්ෂණය මත එම පොලීසියේ පොලිස් කොස්තාපල්වරුන් වන 6109 ජගත් සහ 70060 තරංග මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිනවා.
ටී.කේ.ජී.කපිල