පන්නල – හොරතෑපොල ප්රදේශයේ පවත්වා ගෙන ගිය බලපත්ර රහිත සංචාරක හෝටලයක් වටලා ඇති සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් එම ස්ථානයේ තිබී විදේශීය මත්පැන් බෝතල් තොගයක් තම භාරයට ගෙන තිබෙනවා.
ඊයේ (05) සවස මෙම වැටලීම සිදුකර ඇති අතර එම ස්ථානයේ තිබී විදේශීය රටවල් වල නිෂ්පාදනය කරන ලද වයින් බෝතල් 117ක්, බියර් බෝතල් 63ක් සහ විස්කි බෝතල් 10ක් වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන තිබෙනවා.
එම සංචාරක හෝටලය පවත්වා ගෙන ගිය බව කියන පුද්ගලයාව ද සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පන්නම – හොරතෑපොල ප්රදේශයේ විශාල පොල් වත්තක් තුළ මෙම ලියාපදිංචි නොකළ සංචාරක හෝටලය පවත්වා ගෙන ගොස් ඇති අතර අන්තර්ජාලය ඔස්සේ සංචාරකයින් ගෙන්වා ගැනීම සිදුකර ඇති බවත්, එහි එක් කාමරයක් දිනකට රුපියල් 65,000ක් වැනි මුදලකට ලබා දී ඇති බවයි විමර්ශණ වලදී හෙලිවී ඇත්තේ.
මෙම සංචාරක හෝටලය පවත්වා ගෙන යාම සදහා සංචාරක මණ්ඩලයේ අනුමැතිය හෝ මත්පැන් ළග තබා ගැනීමට සහ අලවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ බලපත්රයක් හෝ තිබී නැහැ.
සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී චන්න වීරක්කොඩිගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ප්රධාන සුරාබදු පරීක්ෂක පී.එන්.හේමන්තගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදු කර තිබනවා.






ජුඩ් සමන්ත