වී කිලෝවක සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කරන්නයි ඉල්ලමින් පොලොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ ගොවීන් අද (05) පෙරවරුවේ වැලිකන්ද නගරයේදී දැවැන්ත විරෝධතාවයක නිරත වුණා.
වී කිලෝවක සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කිරිම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමිනුයි ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය මගින් මෙය සංවිධානය කොට තිබුණේ.
විරෝධතාකරුවන් පොලොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙම විරෝධය පැවැත්වූයේ.
ගොවීන් 300කට වැඩි පිරිසක් මෙම විරෝධයට එක්ව සිටි අතර පොලොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වුණා.
අනතුරුව විරෝධතාවය පැවති ස්ථානයට වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්වරියද විසදුම් ලබා දීමට පැමිණියද ගොවීන් එම කාරණා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඇයද එම ස්ථානයෙන් පිටව ගියා.
වී මෝල් හිමියන්ගෙන් අඩු මිලට වී මිලට ගැනීම නැවැත්වීම, වී ගබඩා විවෘත කිරිම, ගොවියාගෙන් රජය ගැනීමට නියමිත වී කිලෝ 2000 – 2500 දක්වා වැඩි කිරීම යන කරුණු ඉටුකර දෙන ලෙසයි ගොවීන් මෙහිදී ආණ්ඩුවට බල කර සිටියේ.



රොෂාන් තුෂාර තෙන්නකෝන්