අළුගෝසු (වධක) තනතුර සඳහා අයදුම්පත් 102ක් ලැබී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම අයැදුම්පත් අතරින් 101ක් ශ්‍රී ලාංකික අයදුම්කරුවන් වන අතර එක් අයෙක් අමරිකානු ජාතිකයෙක් ලෙසයි වාර්තාවන්නේ.
මෙම තනතුර සඳහා ලාංකික පුරවැසියකු වීම අනිවාර්ය වීම නිසා විදෙස් ජාතිකයා හැර ඉතිරි 101 දෙනාගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගන්නා බව බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (28) සඳහන් කර සිටිනවා.
සම්මුඛ පරීක්ෂණ පවත්වන දින සහ ඒ සඳහා කැඳවන පුද්ගලයින් ප්‍රසිද්ධියට පත්නොකරන අතර සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගනු ලබන දෙදෙනා පිළිබඳව ද ජනතාවට දැනගැනීමට ප්‍රසිද්ධියට පත්නොකරන බවයි ඔහු කියා සිටියේ.
මීට පෙර වධක තනතුරට බඳවා ගෙන සිටි දෙදෙනා සේවය අතහැර යාම නිසා ඇතිවූ පුරප්පාඩුව මත බඳවා ගැනීමට නියමිත දෙදෙනා විශ්‍රාම වැටුප් හිමි රුපියල් 30,000ට වැඩි වැටුපකට ස්ථීර සේවයට බඳවා ගනු ලබනු ඇති.
චමින්ද සිල්වා