කාර්මික දෝශයකට ලක් වූ පෞද්ගලික ගුවන් යානයක් පැය 03ක ගුවන් ගමනකින් පසු යළිත් හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත අද (01) දහවල් ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කර සිටියා.
මෙය ගල්ෆ් ස්ක්‍රීන් ගුවන් සේවයට අයත් TBG – 55 දරන ලියර් ජෙට් වර්ගයේ ගුවන් යානයකි.
එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු මගීන් 11 දෙනෙකු සිටියා.
ගුවන් යානය අද දින උදෑසන 9.42ට හොංකොං බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති අතර යානයේ ටයර් පද්ධතිය මෙසේ කාර්මික දෝශයකට ලක්වීම නිසා යළිත් දහවල් 12.40ට කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බැසීමක් සිදුකර තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වූ මෙම ගුවන් යානය ඇති වූ කාර්මික දෝශය නියමුවා විසින් අනාවරණය කර ගැනීමෙන් පසු වහාම ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් දැනුවත් කිරීමට ගුවන් නියමූවා පියවර ගෙන තිබුණා.
පසුව ගුවන් යානය මුහුදු ප්‍රදේශයේ දී වඩාත් පහතට රැගෙන ආ ගුවන් නියමුවා යානය තුළ වූ ඉන්ධන සියල්ලම මුහුදට මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අතර ගිනි නිවීම් රථ, ගිලන් රථ ආදිය සූදානම් කිරීමට ගුවන් තොටුපළ පියවර ගෙන තිබූ අතර අද දහවල් 12.40ට යානය කටුනායක ගුවන් තොටුපළ වෙත නිරුපද්‍රිතව ගොඩ බැස්සවීමට නියමුවා සමත් වී තිබෙනවා.
ටී.කේ.ජී.කපිල