ගාල්ල නගරයේ වෙළඳ සලකින් අද (26) සවස කප්පම් ගැනිමට පැමිණි පුද්ගලයෙකු වෙළඳසල්හිමියාගේ පහරකෑමට ලක්ව තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මාගාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති කප්පම්කරු පිහියක් රැගෙන විත් වෙළඳසල් හිමියාගෙන් කප්පම් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ වෙළඳසල් හිමියා විසින් ඔහුට පුටුවකින් පහරදි ඇති බවයි නිව්ස්හබ් වාර්තාකරු සඳහන් කර සිටියේ.
කප්පම්කරු පිහියක් පෙන්වා කප්පම් ඉල්ලන අයුරුත් වෙළඳසල් හිමියා පුටුවකින් ඔහුට පහරදෙන අයුරුත් එම වෙළඳසැලේ ආරක්ෂිත කැමරාවේ සටහන්වි තිබෙන බව පොලිසිය පවසනවා.
පසුව බිම වැටුන කප්පම්කරුට වෙළඳසල් හිමියා සහ ඔහුගේ පුතුන් දෙදෙනා විසින් තවදුරටත් පහර දී තිබෙනවා.
වෙළඳසල් හිමියා සහ ඔහුගේ පුතුන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇති අතර ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ වැඩ ලබන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ධම්මික නාගහවත්තගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂක එම්.නිමල් ඇතුලු කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.


ෆර්හාන් නිසාම්දින්