නිරූපණ ශිල්පිනියක් ලෙස නමක් දිනූ පියුමි හංසමාලි මේ වන විට සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්රයේත් දකින්න ලැබෙන කෙනෙක්. කාලයෙන් කාලයට පුවත් මවන පියුමි ගීත රූප රචනා වලට රංගනයෙන් දායක වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නට සමත්වුණ කෙනෙක්. එමෙන්ම ඇයට පසුගිය කාලයේ ඉන්දියානු සිනමාපටයක ප්‍රධාන චරිතයට පණ පොවන්නට අවස්ථාව හිමිවුණා. ඒ සමබන්ධයෙන් වගේම පියුමි මුලපුරන්න යන අලුත් වැඩක් ගැනත් සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.
පියුමි මේ දවස්වල මොනවද කරන්නෙ..?
මම මගේම කියලා සැලෝන් එකක් පටන් ගන්නයි හදන්නෙ. ඉතින් මේ දවස්වල තියෙන ලොකුම වැඩේ ඒ සැලෝන් එක වෙනුවෙන් මහන්සිවෙන එක තමයි. තාම හරියට සුදුසු තැනක් ලැබුණේ නැහැ. තැන් කිහිපයක්ම බැලුවා. හැබැයි ළඟදීම සුදුසු තැනක මම මගේ සැලෝන් එක දානවා.
මේ කොයි කාලෙදී දැකපු හීනයක්ද..?
මේක දැන් අවුරුදු 04කට විතර කලින් මගේ ඔළුවට ආපු දෙයක්. මට මගේ යාළුවෝ හැමෝම සැලෝන් එකක් කරන්න කියලා කිව්වා. මම ඒ වැඩත් දන්නවා. ඒකට මට ආසාවකුත් තියෙනවා. ඉතින් ඒ ආසාව තමයි ළඟදීම හැබෑවෙන්න යන්නෙ.
ඔබ ඉන්දියානු නිර්මාණයකටත් දායක වුණානෙ, ඒ ලබපු අත්දැකීම කොහොමද..?
ඔව්.. ඇත්තටම ඒක හොඳ අවස්ථාවක්. වෙනස්ම අත්දැකීමක්. මම ලංකාවේ අධ්‍යක්ෂකවරුන් යටතේ රඟපාලා තිබුණට විදෙස් රටක කරපු නිර්මාණයකට දායක වෙන්න මීට කලින් ලැබුණේ නැහැ. අපේ සෙට්වල සමහර අයට තවත් කෙනෙකුට ගරු කරන්න තේරෙන්නෙ නැහැ. හැබැයි අපේ රටේ හැමෝම එහෙම නෙවේ. අපේ රටේ හොඳ කලාකරැවන් කලාකාරියන් ඉන්නවා. ඒත් සමහරු අනිත් කෙනාව පහත් කරලා තමයි කතා කරන්නෙ. මම ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ.
ලංකාවේ නිර්මාණයකට පියුමිට ආරාධනාවක් ලැබුණේ නැද්ද..?
ලංකාවේ නව නිර්මාණ 04, 05කට ආරාධනා ලැබුණා. හැබැයි ඒ එකක්වත් මට ගැලපුණේ නැහැ. මම නිදහස කියන දේ හරියට හිතන කෙනෙක්. අනිත් අය වගේ රඟපාමින් ඉන්න මම කැමති නැහැ. ඒ නිසා මම ඒ නිර්මාණ බාරගත්තෙ නැහැ.
පියුමිගේ පුතා ගැනත් අපි ටිකක් කියමු..?
මගේ ජීවිතේ තමයි මගේ පුතා. එයාගේ නම කාවිංග සංකල්ප. එයා ඉස්කෝලෙ හොඳට ඉගෙනගන්න දරුවෙක්. එයා හරිම කරැණාවන්තයි. එයාට හරි ලස්සන හදවතක් තියෙනවා. එයා ඉතාම සංවේදී ළමයෙක්. ඒ වගේ පුතෙක් මට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි.
ජීවිතේට ලැබුණු අභියෝගවලට ඔබ කඩා නොවැටී මුහුණදුන්නෙ කොහොමද..?
මම හිතන්නෙ ඒක මගේ හිත හයියකම කියලයි. පොඩි කාලේ ඉඳලා දරාගැනීමේ ශක්තිය මට හොඳට තිබුණා. නැත්නම් අපේ මිනිස්සු මඩ ගහන විදිහට මම වැටුණානම් මම මැරිලා ගොඩක් කල්. සාමාන්‍ය කෙනෙක්ට වඩා පියුමි හංසමාලි කියන්නෙ ගොඩක් මඩ කාපු කෙනෙක්. මාව බොහෝ දෙනා වැට්ටුවා. මට කොච්චර මිනිස්සු මඩ ගැහුවත් මගේ පවුලේ අය මම ගැන දන්නවානම් මට ඒ හොඳටම ඇති. මගේ පවුලේ අය තමයි පියුමි හංසමාලිව හොඳටම හඳුනන්නෙ. ඒ නිසා අනිත් අය කියන දේ මට ප්‍රශ්නයක් නෙවේ. අනිත් අය බොරුවක් කියද්දී ඒ දේට මුහුණදීමේ ශක්තිය මට තියෙනවා. බොරුවට ආයුෂ නැහැ. ඉතින්.. මම හැමදාම සත්‍ය කතා කරන ගැහැනියක්. මට හැම ප්‍රශ්නයකටම මුහුණදීමේ ශක්තිය තියෙනවා. හැමදාම සත්‍යයෙන් ජීවත්වෙන නිසා මම වැටුණට බය නැහැ.
ජීවිතේ වැඩියෙන්ම කඩා වැටුණේ කවදද..?
මගේ තාත්තා නැතිවුණු දවස තමයි මම ජීවිතේ වැඩියෙන්ම කඩා වැටුණේ.
පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද..?
පුංචි කාලේ මම ගුවන් සේවිකාවක් වෙන්න හරියට හීන දැක්කා. ඒක පුදුමාකාර ආසාවක්. ඒ සාරියට මම ආස කළා. ප්ලේන් එකේ යන්න මම ආසයි. රඟපාන්න, නිරූපිකාවක් වෙන්න මම කවදාවත් හිතුවේ නැහැ. හැබැයි දැන්නම් මම හිතනවා හොඳ වෙලාවට ගුවන් සේවිකාවක් නොවුණේ කියලා. සමහර වෙලාවට අපි ෆ්ලයි කරද්දී ඇම්බැක්කේ නැති කැටයම් තමයි සමහර ගුවන් සේවිකාවන් ළඟ තියෙන්නෙ. ඔරවනවා, පුප්පනවා. හැබැයි සමහරුනම් ඇවිත් හොඳට කතා කරලා යනවා. මම ඔය ලොකු ලයින්වලට කැමති නැහැ. අපි ඔක්කොම අද ඉඳලා හෙට මැරෙන මිනිස්සු. ඉතින් බොරු සෝභන මොකටද.
පියුමි හංසමාලි කියන්නෙ කවුද..?
පියුමි හංසමාලි කියන්නෙ පොළොවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්. බොරු සෝභනවලින් රඟන්නෙ නැහැ. පියුමි හංසමාලි බොහොම පුංචි තැනකින් ආපු කෙනෙක්. දැන් ඉන්න ගොඩක් අය බාගෙට බාගයක් කැරොකිවල නටපු අයයි. ඒ අය අද බොරුවට ලස්සන සුඛෝපභෝගී ජීවිත ගෙවන්නෙ උත්පත්තියෙන්ම කොළඹ හතේ ඉපදුණා වගෙයි. පියුමි හංසමාලි කියන්නෙ හරි දුප්පත් පවුලක ඉපදුණු සාමාන්‍ය කෙනෙක්.
ඊළඟට තියෙන ඉලක්කය සැලෝන් එකක්ද..?
හැබැයි ඒකත් මේ රජ කරන්නවත්, තව කෙනෙක්ව කපාගෙන යන්නවත් නෙවේ. මගේ අම්මයි දරුවයි එක්ක හොඳින් ජීවත් වෙන්නයි.




උපුටා ගැනීම – දේශය