1991 වසරේදී මයිකල් ජැක්සන් විසින් එළිදැක්වූ Black or White ගීතය අතිශයින්ම ජනප්‍රිය වූ අතර එම ගීතයේ වීඩියෝව එහි ජනප්‍රියත්වයට ඉවහල් වූ තවත් එක් කාරණයක් විය. විවිධ නර්තනාංග රැසක් අඩංගු වූ වීඩියෝවෙහි ඉන්දීය නර්තනාංගයක් ද ඇතුළත් වූ අතර මයිකල් ජැක්සන් ද එම නර්තනාංගයට එක් වී තිබිණි. එහෙත් මෙම නර්තනාංගය ඉදිරිපත් කරන ලද්දේ ඉන්දියානු ශිල්පිනියක් නොවේ. ඈ ශ්‍රී ලාංකීය නර්තන ශිල්පිනියක් වූ යමුනා ශංගර්ශිවම් ය. යමුනා ගේ පියා ශ්‍රී ලාංකීය දමිල ජාතිකයෙකු වූ අතර මව මැලේසියානු ද්‍රවිඩ ජාතික කාන්තාවන් වූවාය. ලංකාවේ උපන් ඈ අවුරුදු 9 දී සිය පවුල සමග ඇමරිකාවේ පදිංචියට ගියාය.

මයිකල් ජැක්සන් ජනප්‍රිය තලයේ හිණිපෙත්තේ සිටි සමයේ දී එළිදැක්වූ Black or White ගීතය එළිදැක්වූයේ 1991/1992 කාලයේදීය. ලොස් ඇන්ජලීස් නගරයේ සුදු සහ කළු ජාතිකයන් අතර වර්ගවාදී ගැටුම් හටගත් සමයකි එය. රොඩ්නි කින්ග් නම් කලු ජාතිකයෙකු සුදු ජාතිකයන් සිවු දෙනෙකු විසින් පහර දී මරා දමනු ලැබීම ඊට ආසන්නතම හේතුව විය. ඒ කාලයේදීම මයිකල් විසින් ඉදිරිපත් කළ මෙම ව්‍යාපෘතිය මගින් ලෝකය පුරා විසිරී පවතින විවිධ සංස්කෘතින් අගය කරනු ලැබීම ද විශේෂයෙන් මේ ගීතය හා වීඩියෝව ජනප්‍රිය වීමට හේතු විය.

මේ ව්‍යාපෘතිය සඳහා මයිකල් ජැක්සන් විසින් විවිධ රටවල නර්තන ශිල්පීන් යොදාගත් අතර 3000ක් පමණ ශිල්පීන් කුසලතා පරීක්ෂයකට යොමු කිරීමෙන් පසු මෙම ඉන්දියානු නර්තනාංගය ඉදිරිපත් කිරීමට යමුනා ශංගර්ශිවම්ට අවස්තාව ලැබී තිබිණි. ඒ වන විට ඇය කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ශාස්තවේදී උපාධිය හදාරමින් සිටි අතර ඒ නර්තනය සහ මානව විද්‍යාව විශයන් වලිනි. තමා තෝරාගත් බවට දුරකථනයෙන් දැනුම් දුන් විට යමුනා විශ්මයාර්ථයෙන් යුතු සතුටට පත් වූ බවත් මයිකල් ජැක්සන්ගේ රසිකාවියක වුවද ඔහු සමග මෙලෙස නර්තනයේ යෙදීමට හැකිවනු ඇති බවට ඈ කිසිලෙසකින්වත් විශ්වාස නොකළ බවත් පසුව යමුනා පවසා තිබිණි. නර්තනය රූ ගත කළ දිනයේ දී මයිකල් ජැක්සන් විසින් මර්සිඩිස් බෙන්ස් කාර් රථයක් තම නිවසට එවූ බවත්, මව සමග අදාල රූගත කීරීම් සඳහා ලොස් ඇන්ජලීස් බලා පිටත් වූ බවත් යමුනා පැවසුවාය. තමා එහි යනවිටත් මයිකල් එහි සිටි අතරම යමුනාව පිළිගැනීමට මයිකල් සිය රථය අසළට පැමිණි බවත් සිතල එළිමහන් රූගත කිරීමක් වූ නිසා තමාට මයිකල් විසින් ඔහුගේ බ්ලැන්කට්ටුව පෙරවූ බවත් යමුනා හෙළිකර තිබිණි. පැය 14ක් පමණ රූගත කිරීම සිදුවූ අතර ලොස් ඇන්ජලීස් නගරයේ වීදි සහ අධිවේගී මාර්ග කිහිපයක් ද මෙයට යොදාගත් බැවින් වසා තැබිණි.

1990 දී යමුනා සංගීතය සහ පියානෝ වාදනය පිළිබඳව සිය මුල් උපාධිය සම්පූර්ණ කරන ලද්දේ මිනසෝටා විශ්ව විද්‍යාලයෙනි. 1992 දී ඇය නර්තනය සහ ජනවාර්ගික අධ්‍යනය විශයෙන් ශාස්තවේදී උපාධිය ගත්තේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙනි. දර්ශනපති උපාධිය වසර 2000 දී සම්පූර්ණ කළේ මානව විද්‍යාව සම්බන්ධයෙනි. මේ වන විට ඈ මානව විද්‍යාව පිළිබඳව නිවුයෝක් හි නසරෙත් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරියක ලෙස කටයුතු කරයි.
-කසුන් නදීර –