ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන්නේ මුකේෂ් අම්බානියි.
ලෝ ප්‍රකට ‘රිලයන්ස්” සමාගමේ හිමිකරු වන ඔහු ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා සේම ආසියාවේ ද ධනවත්ම පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටින්නෙක්.
61 වැනි වියෙහි පසුවන ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 45ක් ලෙස සඳහන් වන අතර එය ලංකා මුදලින් රුපියල් බිලියන 8,000කට ආසන්නයි.
ලෝකයේම ධනවතුන් අතර ද අම්බානි 19 වැනි ස්ථානය දිනාගෙන සිටිනවා.
අම්බානි සම්බන්ධයෙන් මීට පෙර ද කතාබහට ලක්වූයේ ඔහුගේ එකම දියණිය වූ ඊශා අම්බානිගේ විවාහ උත්සවය හේතුවෙන්.
එම විවාහ මංගල්‍ය පැවැත්වුණේ මුකේෂ් අම්බානිගේ මන්දිරයක් වැනි නිවසේයි.
මෙය ඉන්දියාවේ මෑත කාලයේ පැවැති වඩාත් උත්කර්ෂවත්ම විවාහ මංගල උත්සවයක් ලෙසයි වාර්තා වුණේ.
ලෝකයේම අවදානය දිනාගත් එම විවාහ මංගල උත්සවය සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
එමෙන්ම අම්බානි පවුලේ තවත් විවාහ මංගල්‍යයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කරනවා.
මුකේෂ් අම්බානි ඇතුළු ඔහුගේ පවුලේ උදවිය ජීවත් වන නිවෙස හැඳින්වෙන්නේ ‘ඇන්ටිලියා’ ලෙසයි.
එය ජනප්රවාදයේ එන එක්තරා මන:කල්පිත දිවයිනක් හැඳින්වෙන වදනක් ලෙසයි හඳුන්වනු ලබන්නේ.
මෙම සුපිරි නිවසෙහි මේ වනවිට වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් බව සඳහන්.
ලංකාවේ මුදලින් එය රුපියල් බිලියන 360කට ආසන්නයි.
තට්ටු 27කින් සමන්විත මේ නිවෙස අඩි 570ක උසකින් ද යුක්ත වනවා.
ලෝකයේ වටිනාකමෙන් වැඩිම පෞද්ගලික නිවාස අතර මෙය පළමු ස්ථානය දිනාගෙන සිටිනවා.
ඇන්ටිලියා නිවහන මුම්බායිහි දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති අතර එහි මුළු බිම් ප්‍රමාණය වර්ග අඩි ලක්ෂ 4ක් බව සඳහන්.
මෙය ඉදිකර ඇති ඉඩමෙහි වර්ගඵලය වර්ග අඩි 50,000කට ආසන්න වන අතර නිවෙසෙහි නඩත්තු කටයුතු වෙනුවෙන් 600 දෙනකුගෙන් සමන්විත සේවක පිරිසක් මෙහි කටයුතු කරනු ලබනවා.
නිවෙසෙහි වාසය කරන්නවුන්ට මෙන්ම මෙහි එන අමුත්තන්ටද තට්ටු අතර ගමන් කිරීම සඳහා විදුලි සෝපාන 09ක් සවි කර තිබීම සුවිශේෂීත්වයක්.
මෙම අපූරු නිවෙසෙහි සෑම තට්ටුවක්ම එකිනෙකට වෙනස් ආකාරයෙන් සැලසුම් කර තිබීම තවත් විශේෂත්වයක්.
මේවා ඒ ආකාරයෙන් සැලසුම් කිරීමේදී මුකේෂ් අම්බානිගේ බිරිය වන නීතා අම්බානිගේ අදහස් බෙහෙවින් සැලකිල්ලට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
50 දෙනකුට අසුන් ගත හැකි, නවීන තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක්, රූපලාවණ්‍යාගාරයක්, ස්පා එකක්, බෝල් රූම් නැටුම් ශාලාවක්, පිහිනුම් තටාක කිහිපයක්, යෝගා ව්‍යායාම සඳහා ශාලාවක්, නර්තනාගාර මෙන්ම අයිස්ක්‍රීම් කාමර ද මෙහි තිබෙන බව සඳහන්.
මෙම නිවෙස පිළිබඳව පැවසෙන තවත් අපූරු කතාවක් වන්නේ මෙහි තට්ටු 06ක්ම වෙන් කර ඇත්තේ අම්බානි පවුලේ මෝටර් රථ වෙනුවෙන්ය යන්නයි.
මෙම රථගාල් වල වාහන 170කට ආසන්න සංඛ්‍යාවක් ගාල් කළ හැකි බව වාර්තාවනවා.
ඔවුන්ගේ මෝටර් රථ ‘සර්විස්’ කිරීම සඳහාම වෙන්වුණු වෙනම ‘සර්විස් ස්ටේෂන්’ එකක් පවා මෙහි තිබෙන අතර 07 වැනි තට්ටුව සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ ඒ වෙනුවෙනුයි.
මෙම ඇන්ටිලියා නිවෙසෙහි උද්‍යාන කිහිපයක් ද ඇති අතර ගොඩනැඟිල්ලෙහි සිසිල් බව පවත්වා ගැනීමේදී මේවායින් විශාල මෙහෙයක් ඉටු වනවා.
හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා අංගණයන් 03ක් ද ගොඩනැඟිල්ල මුදුනේ පිහිටා ඇති අතර මෙහි ඇත්තේ තට්ටු 27ක් වුව ද එය සාමාන්‍ය තට්ටු 45ක ගොඩනැඟිල්ලක උසින් යුතු බව සදහන්.
මෙහි එක් තට්ටුවක් සාමාන්‍ය ගොඩනැඟිල්ලක තිබෙන තට්ටුවක උස මෙන් දෙගුණයක උසින් යුතු වන බවයි වාර්තා වන්නේ.
මුකේෂ් අම්බානි මෙම නිවෙස ඉදිකර ඇත්තේ 2010 වසරේ වන අතර එය අමුතුම ආකාරයක සැලසුමකට අනුව ඉදිකර තිබෙන්නේ මෙවැනි පහසුකම් රාශියක එකතුවක් ලෙසිනුයි.




