දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැර ගෙන ගොස් පහරදී කෲර අන්දමින් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු විනාශ කර දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සිරුරු විනාශ කර දැමූ ස්ථානය මේ වනතුරු නිශ්චිතව හඳුනාගෙන නැති අතර ඒ සම්බන්ධයෙන් ඉතාම වැදගත් තොරතුරු රාශියක් ලැබී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසනවා.
ව්‍යාපාරිකයන් දෙදෙනාට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව ද විමර්ශනවලින් හෙළි වී ඇති අතර සංවිධානාත්මක පොලිස් කණ්ඩායමක් විසින් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඇත්තේ කප්පම් මුදල් ලබා ගැනීමට හෝ එසේ නොමැති නම් කිසියම් පුද්ගලයකු ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත වන්නට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකපළ කරනවා.
දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (18) අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරගත කර තිබෙනවා.
ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගෙන ගිය බවට එල්ල වන චෝදනා සැකකාර පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ප්‍රතික්ෂේප කළ බව ද පොලිසිය පවසනවා.
එහෙත් මෙම පොලිස් කණ්ඩායම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන යන ආකාරය අඩංගු CCTV දර්ශන මෙන්ම තවත් සාක්ෂි රැසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සොයා ගෙන තිබෙනවා.
සැකකාර පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව මීට පෙර ද විවිධ චෝදනා එල්ල වී තිබෙන අතර ගාල්ල දිස්ති‍්‍රක්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මොහු මාතරට මාරු කර යවා ඇත්තේ ද මොහුට එල්ල වූ චෝදනා විමර්ශනයකින් අනතුරුවයි.
එමෙන්ම දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් පස්දෙනකුට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
මෙම සංවිධානාත්මක පොලිස් කණ්ඩායම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගෙන ගොස් මෙසේ ඝාතනය කර ඇත්තේ උසස් නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.
ඉකුත් ජනවාරි 23 වනදා රත්ගම රත්න උදානගම ප්‍රදේශයට කේඞීඑච් වර්ගයේ වෑන් රථයකින් සහ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පොලිස් නිලධාරීන් 13 දෙනකු විසින් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගෙන ගොස් තිබෙනවා.
මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පවුල්වල ඥාතීන් රත්ගම සහ ගාල්ල පොලිසි වලට පැමිණිලි කළ ද විමර්ශනයක් නොපැවැත්වීම නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කර තිබෙනවා.
පැහැර ගැනීමට ලක්වූ මංජුල අසේල කුමාර තිදරු පියෙකු වන අතර ඔහු ධනවත් මාළු ව්‍යාපාරිකයෙකු වන අතර එක්දරු පියෙකු වන රසිත් චින්තක ද කුකුළු මස් ව්‍යාපාරයේ නිරත වූ ධනවත් ව්‍යාපාරිකයෙකි.
මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කර ඔවුන්ගේ සිරුරු පුළුස්සා දැමූ බවට නිර්නාමික ලිපියක් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල් වෙත ලැබී ඇතැයි ද සඳහන්.
එම ලිපිය එවා තිබුණේ මෙම අසාධාරණ කි‍්‍රයාවට එරෙහි වූ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බව එහි සඳහන් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.
හේමන්ත රන්දුණු