දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකත්වය ගැනීම සඳහා එම සන්ධානයේම ප්‍රබල දේශපාලකයින් තිදෙනෙකු තුන්කොන් සටනක නිරතව සිටින බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රීක්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වෙනුවෙන් මෙම සීතල යුද්ධය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
2000 වසරේ දෙමළ ජාතික සන්ධානය පිහිටුවා ගැනීමෙන් පසු මේ දක්වාම එහි නායකත්වය ආර්.සම්බන්ධන් විසින් දැරූ අතර ඔහු සන්ධානයේ නායකත්වයෙන් ඉවත්ව එහි අනුශාසකයකු වශයෙන් කටයුතු කිරීමේ අදහසින් පසුවන බව දැනගන්නට ලැබෙනවා.
ඒ අනුව මෙම ධුරයට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් පත්කළ යුතු බවට යෝජනා වී තිබුණ ද සන්ධානය අභ්‍යන්තරයෙන් ඊට විරෝධයක් ද මතුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී දෙමළ ජාතික සන්ධානයේ සෙසු හවුල්කාර පක්ෂ ද්විත්වය වන ප්ලොට් හා ටෙලෝ සංවිධාන සදහන් කර සිටියේ දෙමළ ජාතික සන්ධානය තුළ වර්තමානයේ ගොඩනැගී ඇති නායකත්වයේ කතිකාව සම්බන්ධයෙන් තම පක්ෂ අභ්‍යන්තරයේ ද සාකච්ඡා කර සිටින බවයි.
ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව ඇත්තේ ඉලංගයි තමිල් අරසුකච්චි සහ සිය පක්ෂවල පොදු එකගතාවකින් මිස තනි තීරණ වලින් නොවන බවයි.
එෆ්.අස්ලම්