Home Environment ලංකාවේ කසල ප්‍රශ්නයක් වෙනවා..දැන්ම මේක කළමනාකරනය කර ගත යුතුයි – විජය කුමාරතුංගයන්ගේ...

ලංකාවේ කසල ප්‍රශ්නයක් වෙනවා..දැන්ම මේක කළමනාකරනය කර ගත යුතුයි – විජය කුමාරතුංගයන්ගේ දුටු අනාගත ලංකාවේ ප්‍රශ්න

599
0

ඒ 1988 ජනවාරි මාසයයි. මරදානේ වජිරඥාන මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහජන පක්ෂ කාර්යාලයේ පක්ෂ සාමාජිකයින් සිටියේ විදේශයක සිට පැමිණි පක්ෂයේ ජාතික සංවිධායක විජය කුමාරතුංගයන් මුලසුනට එනතුරුය.

රැස්ව සිටි පිරිස අතර පක්ෂ ලේකම් වයි.ජී. සිල්වා දේව බණ්ඩාර සේනාරත්න, ටියුඩර් දයාරත්න, ඔසී අබේගුණසේකර සහ පද්මසිරි කොඩිකාරද විය. රුසියන් ජනරජයේ ආරාධනයක් පිට එරටට ගිය විජය කුමාරතුංග ඉන්පසු ජර්මනිය, එංගලන්තය හා ඉතාලිය යන රටවල සංචාරය කොට ලංකාවට ආ මොහොතේ මේ තමන්ගේ අවසන් විදේශ සංචාරයයි කීයටවත් හිතන්නට නැතුව ඇත. එකල ‘‘දිවයින’’ පුවත්පත දිගට හරහට විජයගේ මහජන පක්ෂයට පහර දීමට පටන් ගැනීම නිසා ඔහු මරදානේ පක්ෂ කාර්යාලයට එන්නට පෙර​ බ්ලූමැන්ඩල් පාරේ ‘‘දිවයින’’ කාර්යාලයට ගොඩවී එන්නට අමතක කළේ නැත. පක්ෂ කාර්යාලයේ දොරකඩ වාහනය නැවැත්වූ විජය බලන්නට පිරිස් වටවෙන්නට විය. ඒ සෑම කෙනකුටම නම ගම කියා වචනයක් කියන්නට විජය අමතක කළේ නැත. පක්ෂ රැස්වීමේ මුලසුනේ විජය අසුන් ගත්තේ ඉන් අනතුරුවය.

‘‘මං දිවයිනට ගිහින් එන ගමන් බ්ලූමැන්ඩල් කුණුකන්ද ගාවින් ආවා. මම ගිය ලෝකේ දියුණු රටවල නම් කුණු කියන්නේ මහා සම්පතක් හැටියටයි අපට හඳුන්වල දුන්නේ, බලන්න මේ බ්ලූමැන්ඩල් කුණුකන්ද අනාගතයේ මහා ප්‍රශ්නයක් වෙනවා. ඔය කුණු කන්ද මදිවෙලා නැති තැනක් හොයාගන්න වෙනවා. ඔය කුණු කඳු ලෝකේ වෙන රටවල පිපිරිලා මිනිස්සු මැරිලා තියෙනවා. මේ බ්ලූමැන්ඩල් කුණු කන්ද මහා සෞඛ්‍ය ප්‍රශ්නයක්, පරිසර හානියක් වෙනවා’’
විජය කියූ කතාව අසා පක්ෂ සාමාජිකයින් මවිතයට පත්වන්නට විය. ‘‘මොනවා කුණු කියන්නේ සල්ලි’’ ඔවුන් එකිනෙකාගේ මුහුණට මුහුණ බලාගන්නට විය. ඊටත් වඩා කුණු එකතු කරන්නන් විභාගයක් සමත් විය යුතු බවත් කුණු එකතු කරන්නන් අතර නිශ්චිත ප්‍රතිශතයක් එම සහතිකලාභීන් සිටිය යුතු ප්‍රතිශතය නගර සභාව තීරණය කළ යුතු බව ද විජය කියූ නිසා පක්ෂ සාමාජිකයින් විජයගේ කතාවට සවන් දුන්නේ දැඩි කුතුහලයෙනි.

‘‘මේ රටට ගෙන්වන ඉලෙක්ට්‍රෝනික් බඩු කන්දරාවට විදුලිය දෙන්න ජලවිදුලි බලාගාර මදිවෙනවා. මංගිය රටවල ඉලෙක්ට්‍රික් වාහන ටෙස් රන් දුවනවා මං දැක්කා. ඕවා ලංකාවට ආවම ඒවටත් කරන්ට් ඕන. ඩීසල් පුච්චන්නැතුව ලෝකේ හොඳම ක්‍රමය විදුලිය ලබාගන්න කුණුවලින් විදුලිය නිපදවන එක. අපි පුළුවන් තරම් ඉක්මනට මේ තාක්ෂණය ලංකාවට ගෙන්වා ගන්න ඕන. මේ අවුරුද්දේ තියෙන ලංකාවේ පළමු පළාත් සභා මැතිවරණයේදී අපේ සටන් පාඨය වෙන්න ඕන කොළඹ පිරිසුදු නරගයක් කරන ගමන් ඒ කුණුවලින් ආදායමක් ලබන හැටි.

විජය ලංකාවේ කුණු ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කරන්නට ආරාධනය කරන ලද්දේ ඕලන්දයේ කොම්පැනියකටය. ආයෝජනය සඳහා මුදල් යෙදවීමට ස්විස් බැංකුවේ නියෝජිතයන් දෙදෙනකුද එකඟ වී තිබිණ. එදා ඉන්ටනෙට් ඊමේල් නොතිබූ බැවින් සාකච්ඡා කෙරුණේ දුරකථන මාර්ගයෙනි. ඕලන්ද කොම්පැනිය කුණුවලින් ප්‍රභේද කොට මුලින්ම නිපදවන්නට සැලසුම් කළේ විදුලියයි. කුණුවලිනු් දෙවැනි නිෂ්පාදනය වූයේ ගෑස්ය. ඉතිරියෙන් පොලිතින් හා කාඩ්බෝඩ් නිපදවා පසු අවසන් නිෂ්පාදනය වූයේ පෝරය. ඕලන්ද කොම්පැනිය දන්වා තිබුණේ කොළඹින් මිලදී ගන්නා කුණුවලින් නිපදවන ගෑස්, පොලිතින්, කාඩ්බෝඩ්, සහ පෝර සඳහා ලංකාවේ වෙළෙඳපොළ හෝ අපනයනයට හැකියාවක් ඇති බවයි. එම සමාගමේ ඉල්ලීම වූයේ කුණු මගින් නිපදවන ‘විදුලිය’ තමන්ට රැගෙන යාමට නොහැකි බැවින් එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට විකිණීමට ගිවිසුමක් සකස් කරන ලෙස ලංකාවේ එවකට විදුලි ඒකකයක් නිපදවන මුදලකට වඩා අඩු මුදලකට එය ලබාදීමට රජය සමග සාකච්ඡා කරන්නට විජයට මැදිහත් වන ලෙස බෙල්ජියම් සමාගම දන්වන ලදී.
විජය කුමාරතුංග ඝාතනය කෙරෙන්නේ මේ අතරය. ඉන්පසු පැවැත්වුණු ලංකාවේ ප්‍රථම පළාත් සභාවේ ඡන්දයෙන් බස්නාහිර පළාත් සභාවට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස පද්මසිරි කොඩිකාර පත්වනලදී. පද්මසිරි කොඩිකාර තම නායක විජය කුමාරතුංගයන්ගේ අදහස ක්‍රියාවට නංවන ලදී.
ලංකාවට ආ ඕලන්ද ආයෝජකයන්ට නවතින්නට ගල්කිස්ස මහා හෝටලය ඔවුන්ගේ මනාපය පරිදි වෙන් කරන ලදී. ආයෝජකයන් කටුනායක ගුවන්තොටුපොළේ සිට ගල්කිස්සට රැගෙනයාමට පද්මසිරි කොඩිකාරට තම ජීප් රථය ලබාදෙන්නට දොස්තර රාජිත සේනාරත්න පියවර ගෙන තිබුණි.
ඕලන්ද ආයෝජකයන් හා එවකට කොළඹ නගරාධිපති කරු ජයසූරිය අතර සාකච්ඡාවක් සැලසුම් කරන ලද්දේ කොළඹ නගර සභාවේදීය. සාකච්ඡාවට මහනුවර එවකට නගරාධිපති දුනුවිල මහතාද සහභාගි විය. ඕලන්ද ආයෝජකයන් තමන් සවි කරන යන්ත්‍රය සඳහා කොළඹින් අක්කර 5ක ඉඩමක් ඉල්ලා සිටින ලදී. ඉඩම් ප්‍රශ්නය බේරන්නට ඉදිරියට ආවේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රය. ඔහු මැදිහත් වී කොටිකාවත්තේ අක්කර 17ක ඉඩමක් ව්‍යාපෘතිය සඳහා තෝරාගන්නා ලදී.

ඕලන්ද කොම්පැනිය දිනකට තම යන්ත්‍රයට ඉල්ලූ කුණු ටොන් ගණන අසා කරු ජයසූරිය නගරාධිපතිවරයා නිරුත්තර වන්නට විය. ඕලන්ද කොම්පැනිය දිනකට මිලදී ගැනීමට කුණු ටොන් 700ක් අවශ්‍ය වුවත් කොළඹ නගර සභා බල ප්‍රදේශ තුළ එවකට කුණු ටොන් 300ක් වත් එකතු වුණේ නැත. ඉන්පසු පෑලියගොඩ, කොළොන්නාව, කෝට්ටේ, දෙහිවල, ගල්කිස්ස හා මොරටුව නගර සභාවලට නගරාධිපතිවරයා දුරකථනයෙන් කතා කොට දිනකට අවශ්‍ය කුණු ටොන් 700 එකතු කරගන්නේ මහත් පරිශ්‍රමයකින් පසුවය.

ඉන්පසු ඕලන්ද ආයෝජකයින්ගේ අවධානය යොමුවූයේ අද මහා ප්‍රශ්නයක් බවට පත්වී ඇති ගොහාගොඩ කුණු කන්දටය. අපට මහා ප්‍රශ්නයක් වුවද ඕලන්ද ආයෝජකයින්ට එම කුණු කන්ද හැරෙන්නටත් ඉඩමදි විය. කොළඹ කුණු යන්ත්‍රය සවි කළ පසු කුඩා ප්ලාන්ට් එකක් නුවර දැමීමට ඕලන්ද ආයෝජකයා එකඟතාවය පළ කළේය. එමෙන්ම එම කුඩා ප්ලාන්ට් එක නුවර සවි කරන තුරු විශේෂ බඩු දුම්රියක් මගින් එම කුණු කොළඹට රැගෙන ඒමේ යෝජනාවක්ද ඕලන්ද කොම්පැනිය තම ව්‍යාපෘති වාර්තාවට රිංග වන්නේ මේ අතරය.

ඕලන්ද ආයෝජකයින් හා ස්විස් බැංකු නියෝජිතයින් ලංකාවේ සිටින අතර රජය සමග ඇති කරගත යුතු ගිවිසුම සකස් කෙටුම්පත් කරන්නට කඩිමුඩියේ් සැලසුම් කරන ලදී. ඒ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ පාලන කාලයයි. විජය කුමාරතුංගයන්ගේ පැතුම ඔහුගේ බිරිඳගේ පාලන කාලයේ මල්ඵල දරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් බලා සිටියහ.

එහෙත් සියලු සැලසුම් සුනුවිසුනු වී ගියේ ව්‍යාපෘතියට අදාළ ඇමැතිවරයකු එය ක්‍රියාවට නැංවීමට අල්ලසක් නොහොත් ‘ජරාවක්’ ඕලන්ද කොම්පැනියෙන් ඉල්ලා සිටීම නිසාය. අවසානයේ කුණු ව්‍යාපෘතිය ‘කුණු’ කූඩයට දමන්නට ඕලන්ද කොම්පැනිය තීරණය කළේය.

‘‘මේ වගේ ජරා රටක් අපි දැකල නැහැ. අපි කරන්නේ පොෆිටබල් (ලාභ ලබන) ව්‍යාපාරයක් තමයි. ඒත් අපේ ප්‍රධාන ඉලක්කය පිරිසුදු ලෝකයක් නිර්මාණය කිරීමයි. පිරිසුදු ලෝකයක් නිර්මාණය කරන්න නම් අපි මේ රටට ඇවිල්ලා ඉන්නේ. අපි ඇයි දේශපාලනඥයින්ට ජරාව දෙන්නේ. ආයි නම් මේ ජරා රටට එන්නේ නැහැ’’ යි තම ව්‍යෘපෘති වාර්තාවේ අවසන් සඳහන් කළ ඕලන්ද කොම්පැනිය තම රටට පෙරලා ගියේ දැඩි කලකිරීමෙනි.

ඕලන්ද කොම්පැනිය එදා එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගුවා නම් අද කොළඹ නුවර කුණු අර්බුදයක් හටගන්නේ නැත. මේ කියන වකවානුවේ කොළොන්නාව කුණු කන්ද පටන් ගෙන තිබුණේවත් නැත. බොහෝ දෙනා විජය කුමාරතුංගගේ ගුණසමරුවකදී සටහන් තබන්නේ ඔහු සමග කාපු බීපු හැටි, නාපු හැටි, සබන් ගාපු හැටිය. එහෙත් විජය කුමාරතුංගගේ නම් පුද්ගලයා මෙරට ජාතික ප්‍රශ්න ගැන අනාගතය බලා දුන් විසඳුම් ගැන මෙරට කිසිදු අධ්‍යයනයක් සිදු කෙරී නැත. අල්ලස් විසින් සමස්ත සමාජයම ජරාජීර්ණ කොට ඇති යුගයක විජය කුමාරතුංගගෙන් කසළ කළමනාකරණ ව්‍යාපෘතියත් කුණු බක්කියට විසි වුණේ ඕං ඔහොමය.

වජිර ලියනගේ
අරුන පුවත්පත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here