Home Hit යාං ඔයට හදිසියේ ජලය පිරවීමෙන් යන්ත්‍ර සූත්‍ර යටවෙයි

යාං ඔයට හදිසියේ ජලය පිරවීමෙන් යන්ත්‍ර සූත්‍ර යටවෙයි

866
0

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිසි අධ්‍යයනයකින් තොරව යාන් ඔය ජලාශයට එකවරම ජලය පිරවීම හේතුවෙන් බැකෝ යන්ත්‍ර 07ක්, වැලි සෝදන යන්ත්‍ර 50ක්, විදුලි උත්පාදක යන්ත්‍ර 10ක්, ජල මෝටර් 50ක්, ටිපර් රථයක් සහ ගොඩ දමා තිබූ වැලි කියුබ් 80,000ක් පමණ සම්පූර්ණයෙන් ජලයට යට වී රුපියල් කෝටි 100කට ආසන්න පාඩුවක් සිදුවී ඇති බව යාන්ඔය ව්‍යාපෘතියේ ජලයෙන් යටවන ප්‍රදේශවල කැණීම් කළ, වැලි ව්‍යාපාරිකයින් පවසනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මඟින් දුන් නිත්‍යානුකූල බලපත්‍ර ලබාගෙන රජයට ගෙවිය යුතු බදු මුදල් ද ගෙවා වැලි කැණිම් සිදුකර තිබියදීත් තමන්ට සිදුව ඇති පාඩුව දරාගත නොහැකි බවත් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ව්‍යාපාරිකයන් 200කට ආසන්න පිරිසක් වාහල්කඩ, මාවතවැව, අලියාකඩ, වාගොල්ලාකඩ යන ප්‍රදේශවල වැලි කැණිම් වල නිරත වූ බව ද ඔවුන් පවසනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ වැලි කැණීම් වල නිරත වූ ව්‍යාපාරිකයෙකු කියා සිටියේ මෙවැන්නක්,

“වැලි කැණිම් වල නිරත වන අතරතුර දී එක්වරම අනපේක්ෂිත විදිහට ජලාශයට වතුර පිරෙව්වා. ප්‍රායෝගික හේතු මත එකපාර වතුර පිරෙන කොට අපට වැලි ඉවත් කරගන්නවත් අපේ මැෂින් ඉවත් කර ගන්නවත් විදිහක් නැති වුණා. 2018 වසරේ අගෝස්තු මාසයේ අග භාගයේ මුලින්ම කැණීම් බලපත්‍ර දෙනකොට ජලාශයට වතුර පුරවනවා කියල කිව්වෙ නෑ. ඒ නිසා අපි ආයෝජනය කලා.

මේ ව්‍යාපාරිකයන් සියලු දෙනා මේ වනවිට රජයට කෝටි 100කට වැඩි ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. වැඩ කරගෙන යනකොට අපට කිව්වා වතුර පුරවනවා කියලා. ඒ වෙනකොට අපට කරන්න දෙයක් තිබුණෙ නැහැ. දැන් අපි ගොඩ දාපු වැලි ඔක්කොම ජලයෙන් යටවෙලා. යන්ත්‍ර සූත්‍ර ඇතුළු අපේ භාණ්ඩත් ගොඩක් යට වෙලා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේකට වග කියන්න ඕනෙ. අපි හතර වටේට ණය වෙලා . මේ තරම් ඉක්මනින් ජලාශය පිරෙව්වට වැඩක් නෑ කිසිම ප්‍රයෝජනයක් නෑ. වම් ඉවුර දකුණු ඉවුර තාම වැඩ ඉවර කරලා වත් නෑ.”

මේ සම්බන්ධයෙන් අප පහළ යාන්ඔය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ උදය හේමකුමාරගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ,

“දකුණු ඉවුරේ අපට දැන් වතුර දෙන්න පුළුවන්. අපට පරික්ෂා කරන්න ඕනෙ කම තිබුණා. ඒ නිසා වතුර දෙපාරකට පිරෙව්වා. හැම ගේට්ටුවක්ම පරීක්ෂා කරලා බැලුවා. ජලාශයට වතුර එන්නේ මේ කාලයේ විතරයි. අපි කිව්වා නොවැම්බර් පළවෙනිදා වතුර පුරවනවා කියලා. ඒත් මේ අය එක විශ්වාස කළේ නෑ. දැනට වතුර අඩු කරන්න බෑ .නමුත් මාර්තු වල ඉන් පස්සෙ ටික ටික වතුර අඩු වෙනවා. මාර්තු වලින් පස්සේ තමයි අපි වතුර අඩු කරන්නේ. මම දැන් පාරු දෙකකට අවසර දීලා තියෙනවා වතුරට යටවෙලා තියෙන මැෂින් ගොඩට ගැනීමට. නැවත වැලි කැණීම් වලට කිසිම අවසරයක් දෙන්නේ නැහැ. නමුත් ගොඩ දාලා තියෙන වැලි ටික ඇදගන්න අපි අවසර දෙනවා” යනුවෙනුයි.

බි .පි චතුරංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here