මාකඳුරේ මධුෂ් නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කිසිදු නඩුවක් මෙරට නොමැති බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.
මධුෂ් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුවද ඔහු එම ජාවාරම්වල නිරත වූ බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් මේ වනතුරුත් හමුවී නැති බවයි එම ආරංචි මාර්ග කියා සිටින්නේ.
පොලිසිය පවසන්නේ මාකඳුරේ මධුෂ් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වී සිටියේ ඩුබායි දේශයේ වීම නිසා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් මෙරට පොලිසියට කිසිම අවස්ථාවක මොහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.
මේ අතර මිනීමැරුම් සම්බන්ධයෙන් ද මාකඳුරේ මධුෂ්ට එරෙහිව සාක්ෂි සහිතව චෝදනා එල්ල වී තිබෙන්නේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ ඝාතනය කිරීම සහ කළුතර බන්ධනාගාර බස් රථයකදී රණාලේ සමයා ඇතුළු 06 දෙනකු ඝාතනය සම්බන්ධයෙන් පමණි.
එහෙත් ඩැනී හිත්තැටියගේ ඝාතනය වෙද්දී මධුෂ් මීගමුව බන්ධනාගාරයේ සිටි අතර සමයා ඇතුළු පිරිස ඝාතනය වෙද්දී මොහු සිට ඇත්තේ ඩුබායි දේශයේ බවයි පොලීසිය සඳහන් කරන්නේ.
පසුගිය කාලයේ රටේ සිදුවූ බොහෝ අපරාධ මෙන්ම හෙරොයින් ජාවාරම් පිටුපස මධුෂ් සිටියද ඒ කිසිවක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් මොහුට එරෙහිව නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටින්නේ.
හේමන්ත රන්දුණු