දහතුන් හැවිරිදි තම බාලවයස්කාර දියණිය ලිංගික අපයෝජනය කිරීමේ නඩු 02ක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයකුට වසර 60ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 30,000ක දඩ මුදලක් නියම කිරීමට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද අද (11) නියෝග කර තිබෙනවා.
මෙලෙස දඩුවම් නියම වූයේ හුංගම පොලිස් වසමට අයත් බටඅත, ලිඳේයාය ප්රදේශයේ පදිංචි කළුහපුගේ දිසානායක (57) නම් පස්දරු පියකුටයි.
මෙම පුද්ගලයා 2015 සහ 2016 වසර වලදී සිය බාලවයස්කාර දියණිය කිහිපවරක් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව හුංගම පොලිස් ස්ථානය විසින් නඩු පවරා තිබෙනවා.
විත්තිකරුට විරුද්ධව එක් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා 03 බැගින් චෝදනා 06ක් ගොනු කර තිබූ අතර එම චෝදනා සියල්ලම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා වැරැදිකරු වුණා.
මෙලෙස වැරැදිකරු වූ එක් චෝදනාවකට බරපතල වැඩ ඇතිව වසර 10 බැගින් වසර 60ක සිරදඩුවම් සහ එක් චෝදනාවකට රුපියල් 5,000 බැගින් රුපියල් 30,000ක දඩමුදලක්ද එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස 06 බැගින් වසර 03ක බරපතල වැඩ සහිත සිර දඩුවම්ද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද විසින් නියම කර තිබෙනවා.
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න පෙනී සිටියා.
අනීෂා මානගේ