Home Local රජරට සරසවියේ මළ අපද්‍රව්‍ය මිහින්තලා වැවට – මිනිස්සු යන්නේ නහය වහගෙන

රජරට සරසවියේ මළ අපද්‍රව්‍ය මිහින්තලා වැවට – මිනිස්සු යන්නේ නහය වහගෙන

405
0

මිහින්තලය රජරට විශ්වවිද්‍යාලයේ කැසිකිළිවලින් පිට කෙරෙන මළ මුත‍්‍රා, ඓතිහාසික මිහින්තලා වැවට මුදා හැරෙන බවත්, මේ වන විට සාංචි විහාරය ඇතුළු, විශ්වවිද්‍යාලය අවට දැඩි දුර්ගන්ධයක් හමන බවත්, මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් පවසනවා.

එම ගැටලූ‍ව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

‘‘මිහින්තලේ වැව කියලා කියන්නේ අතීතයේ රජ දවස සිට පැවත එන වැවක්. මෙය නමින් බුලාන්කුලම වැව. මිහිදු පෙරහැර ආරම්භ කරන්න කියලා සෙල් ලිපියේ ලියලා තියෙන්නේ මිහින්තලා වැව පාමුලින්. මෙය පූජනීය ස්ථානයක්.

මිහින්තලය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල කැසිකිළිවලින් පිටකෙරෙන මළ ජලය හරවලා තියෙන්නේ මිහින්තලේ වැවට, ලෝකයේ ප‍්‍රථම අභය භූමිය තුළයි මෙම වැව පිහිටා තිබෙන්නේ. මේ වන විට මාර්ගයේ ගමන් කරන්නන්ට, මෙන්ම පන්සල ඇතුළේ ඉන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා. දැඩි දුගඳක් හමනවා, මෙම මළ පද්ධතිය තුළින්. විශේෂයෙන් විශ්වවිද්‍යාල සිසුන් ආහාර ගන්නේ මේ පාර දෙපැත්තේ ඇති කෑම කඩවලින්. කඩවල මුදලාලිලාට ඉන්නත් බෑ, කෑම කන අයට කන්නත් බෑ, මාර්ගයේ ඇවිද ගෙන යන අය යන්නේ නහය වහගෙන.

විශේෂයෙන් ජනාධිපතිවරයා පරිසර ඇමැතිතුමා හැටියට මම මේ වැව ප‍්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ලියුමක් යැවූ පසුව, ශ‍්‍රී ලංකා යුද හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා එය ප‍්‍රතිසංස්කරණය කිරීමට. ජනාධිපති ලේකම්වරයා විසින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට, මිහින්තලය විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාට, නාගරික සංවර්ධන අධිකාරියට, දිස්ත‍්‍රික් ලේකම්වරයාට, මිහින්තලා ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙසත්, ෆිල්ටර් පද්ධතියක් සකස් කරන්න කියලා ලිපියක් එවා තිබෙනවා. එම ලිපිය නොවැම්බර් මාසෙ තමයි එවලා තියෙන්නේ, අද වන විට මාස 02ක කාලයක් ගතවෙලා තිබෙනවා. පිළියමක් නැහැ.

මේ දිනවල තිබෙන ඉඩෝරය හේතුවෙන් ජලය වේගයෙන් ගලා බැසීමක් සිදුවන්නේ නැති නිසා මේ වන විට මේ මළ පද්ධතිය කානුුවට බැහැර කරලා. දැඩි දුගදක් හමමින් විශ්වවිද්‍යාලයේ භූමිය මැදින් ගලන ඇළ මාර්ගයෙන් මිහින්තලේ වැවට ගලා බසිනවා.

ගොවි ජනතාව ගොවිතැන් කරන්නෙත් මේ වතුරෙන්, වතුර බීමට ගන්නවා. වන්දනාකරුවෝ ස්නානය කරනවා, මේ ජනතාවට හැදෙන රෝග හොයා ගන්න බැරි වෙලා යාවි.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් යැවූ ලිපිය දැකපු ගමන්, ලේකම්වරයා ඉක්මනින් ක‍්‍රියාත්මක වෙලා අදාළ අංශවලට ලිපි යැව්වා. නමුත් කිසිම රාජ්‍ය නිලධාරියෙක් මේ වන විට ඒ සම්බන්ධයෙන් විමසීමක් කරලා නැහැ.”

මිහින්තලය – රංග චතූ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here