Home Local ජනපති, අගමැති, කතානායක සහ විපක්ෂ නායකගේ නිදහස් දින පණිවුඩ

ජනපති, අගමැති, කතානායක සහ විපක්ෂ නායකගේ නිදහස් දින පණිවුඩ

385
0

අදට (04) යෙදෙන ශ්‍රී ලංකා නිදහස් දිනය ජනපති, අගමැති, කතානායක විපක්ෂ නායක විසින් නිකුත් කරන ලද නිදහස් දින පණිවිඩ.

සමඟිව පෙරට යෑමට හැකි වේවා! – ජනාධිපති

පුරා 133 වසරක් බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව, ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ දිනය හැම වසරකම පෙබරවාරි 4 වැනිදා මෙසේ උත්සවශ්‍රී යෙන් අනුස්මරණය කරනු ලැබේ. එහෙත් මේ මොහොතේ අප සියල්ලන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ ලැබූ නිදහසේ උපරිම අර්ථය සාක්ෂාත් කර ගැනීම පිණිස නව දැක්මකින්, අභිනව ජවයකින් සාමූහිකව කැපවීමයි.

අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමෙන් දේශයක්, ජාතියක් ලෙස අප අපේක්ෂා කළේ සියලු ආකාරවලින් ඔවුන්ගේ වියගසින් මිදුණු ස්වදේශීය අනන්‍යතාවකින් හෙබි ආර්ථික දේශපාලනික හා සමාජ සංස්කෘතික පෙරගමනකි. ශතවර්ෂාධික කාලයක පරාධීනත්වයෙන් අධිරාජ්‍ය ගැති බවට පත් මනස්වලට දේශයේ අනාගතය භාර වීම යනු අධිරාජ්‍යවාදයට වඩා භයානක ප්‍රතිඵල අත්කර දෙන්නකි.

එහෙයින් අනාගත අභිවෘද්ධිය උදෙසා අපට අවශ්‍ය වනුයේ ස්වදේශිකත්වයෙන්ම පණ පෙවුණු අධා්‍යාත්මයන්ගෙන් යුතු ජනකායකි. අතීත රජ දවස ලොව අන්‍ය මහා ශිෂ්ටාචාරයන් විසින් ඉටු කරගැනුණු කාර්ය සාධනයන්, ඒ හා සමාන සාර්ථකත්වයකින් අපට ද සපුරාගත හැකි වූයේ ඒ කිසිවකට ණයගැති වීමෙන් නොවේ. ස්වාධීන වීමෙනි. අපි අපේම ජාතික අනන්‍යතාවක් මුල සිටම ගොඩනඟාගත් මිනිස්සු වෙමු. එහෙයින් දේශීය ආර්ථිකයේ පදනම ලෙස කෘෂිකර්මාන්තය ස්ථාපිත කළ යුතු කාලය යළි එළැඹ ඇති වග මේ අනුස්මරණීය දිනයේ මම ඔබ සැමට අවධාරණය කරනු කැමැත්තෙමි.

එසේම ජාතික පුනර්ජීවනය ඇති කිරීමේ ලා අත්‍යවශ්‍ය වන ප්‍රගතියට එරෙහි ව සිටින පොදු සතුරා වන දුගීභාවය සහ දූෂණය වහා මුලිනුපුටා දැමීමට අප සියල්ලන් එක්සිත්ව කටයුතු කළ යුතුව ඇත.

අධිරාජ්‍යවාදී පාලන සමයේ සිටම ජාතික ස්වාධීනත්වය වෙනුවෙන් කැප වූ දිවි පිදූ සියලු වීරවරයන් මේ මොහොතේ ගෞරව බහුමාන පෙරදැරිව සිහිපත් කරන අතර වර්තමානයේ දේශයේ නිදහස, ස්වෛරීත්වය සුරක්ෂිත කිරීමට දිවි හිමියෙන් කැප වී සිටින සියලු රණවිරුවන්ට කෘතඥතාපූර්වකව සුබාශිංසනය කරමි. තව ද සියලු දේශපාලන පාර්ශ්වයන්ටත්, අපටත් ඔබ සැමටත් තිර අදිටනින් සමඟිව දිනූ නිදහසේ යහ අරමුණු සපුරාගනු පිණිස සමඟිව පෙරට යෑමට හැකි වේවා යි මේ නිදහස් සමරු දිනයේ ප්‍රාර්ථනය කරනු කැමැත්තෙමි.

නිදහස් පුරවැසියන් ලෙස සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩ කරමු – අගමැති

“නිදහස” වඩාත් අර්ථවත් වීමට නම් යම් දේශයක, ජන සමාජයක මනුෂ්‍යයා මෙන්ම සමස්ත පරිසරය, ආර්ථික, සමාජ, දේශපාලන මෙන්ම ආධ්‍යාත්මික සංහිඳීම අයත් කරගත යුතුය. එය හුදෙක් සැමරුමකින් පමණක් දිනා ගත හැක්කක් නොවේ.

ඒ සඳහා ක්‍රමවත් සැලැස්මක් සහ සාමූහික කැපකිරීමක් අත්‍යවශ්‍යය.

දීර්ඝකාලීනව අප රට යටත්ව පැවැති විදෙස් පාලනයෙන් නිදහස ලැබීම සරමනු ලබන නිදහස් දිනය වාර්ගික, ආගමික අගතීන් පරාජය කළ, අතික්‍රමණය කළ “ජාතික නිදහස” වඩාත් අර්ථවත් කරන සමාජ වෙනසකට මඟපාදන කතිකාවක් සහ ක්‍රියාකාරීත්වයක් සඳහා කදිම අවස්ථාවකි.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව විවිධ බාධා සහ අභියෝග මැද නව සමාජ, දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමටද, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා යම් පියවර ගැනීමටද අපට හැකි විය. එහි යහපත් ප්‍රතිඵල අපි සමාජයක් ලෙස අත්දකිමින් සිටිමු. ප්‍රජාතන්ත්‍ර විරෝධී, අන්තගාමී බලවේගවලට එරෙහිව අපට ශක්තියක් වූයේ එකී යහපත් සමාජ වෙනස්කම්ය.

71 වන ජාතික දිනය සමරන මේ අවස්ථාවේ දියුණු සමාජ, දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්දකින පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රාජ්‍යයක් සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩ කිරීමට ඔබ සැමට ඇරයුම් කරමි.

අතපසු කළ නොහැකි ඉලක්ක ජය ගැනීමට අධිෂ්ඨාන කරගනිමු – කථානායක

ඉතිහාසය පුරාම මිනිස් නිදහස අහිමි කළ බලවේග නිර්මාණය වූයේ ද මිනිසුන් අතරින්මය.

විටෙක අනේක විධ වධ බන්ධන හා බලහත්කාර යටපත් කිරීම්ද තවත් විටෙක නොයෙකුත් වරප්‍රසාද වරදාන මඟින් ආත්මාර්ථය සන්තර්පණය කිරීම්ද එහිදී යොදා ගනු ලැබූහ.

එම සියල්ල හමුවේ ස්වකීය කශේරුකාව නොනැමූ හෘද සාක්ෂියට දැනෙන නිවහල් යුක්තිගරුක හැඟීම් වෙනුවෙන් පෙනී සිටි උදාර මිනිසුන් නිදහසේ පීතෘවරු වෙති.

අනාගත පරපුරට වඩාත් නිදහස් සමෘද්ධිමත් දේශයක් උරුම කර දීමත් නිදහස උදෙසා ඉතිහාස වංශ කථාව පුරාම ස්වකීය දිවි පූජා කළ විරුවන්ට නිසි ගෞරවය පුද කිරීමත් කළ හැක්කේ එවන් ප්‍රවේශයක් තුළිනි.

ජාතික, ආගමික, සංහිඳියාව එහි පදනම බවට පත්වීම අත්‍යවශ්‍යය.

මත් උවදුරින් නිදහස් වීමෙහි ලා රට පුරා විහිදුණු පුළුල් මෙහෙයුමකට සමාජයේ සියලු බලවේග පෙළ ගැසිය යුතු මොහොත එළැඹ තිබේ.

කිසි ලෙසකින්වත් අතපසු කළ නොහැකි එම ඉලක්ක ජය ගැනීමට මෙම නිදහස් සමරුවේදී සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේම අධිෂ්ඨානය යොමු වේවායි යන්න මගේ පැතුමයි.

බාහිර අතපෙවීම්වලින් තොර ස්වයංපෝෂිත රාජ්‍යයක් ලෙස මෙරට පරිවර්තනය කරමු – විපක්ෂ නායක

හැත්තෑ එක් වසරකට පෙර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නැඟී සිටීමට ඇති අවශ්‍යතාව වටහා ගත් මාතෘභූමිය වෙනුවෙන් සටන් කළ අභීත ජනතාවකට ශ්‍රී ලංකා මාතාව උරුමකම් කීය. ඔවුහු තමන්ගේ වරම තුළින් බිහිවන පාලන තන්ත්‍රයක් මඟින් පාලනය වන ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළහ.

අපගේ තේජාන්විත සිංහ ධජය තුළින් මනාව පිළිබිඹු වන්නේ ඔවුන්ගේ වූ විවිධත්වයයි. ඔවුහු එකාවන්ව ජාතියේ ඒකීයත්වයත් නිදහසත් වෙනුවෙන් සටන්වැද ජය ලැබූහ.

කුඩා දරුවකු ලෙස ශ්‍රී ලංකා මාතාවගේ නිදහස දැක පියවරෙන් පියවර එදා මෙදාතුර පැමිණි ගමනෙහි පසුවූ අඳුරු යුගයන් හිදී ජාතියක් සේ එකාවන්ව එකමුතුව අප නැඟී සිටි අයුරු දුටු අප හට ඇතිවන්නේ ඉමහත් ආඩම්බරයකි.

බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීම නිදහස් දිනයෙන් කියා පෑවත් සැබවින්ම ඉන් පිළිබිඹු වන්නේ අප එක් ධජයක් යට, එක් ජාතියක් ලෙස, විවිධත්වය සවියක් කරගෙන නිදහස ලත් අභීත මිනිසුන් බවයි.

තවද අප එකාවන්ව එකමුතුව ලක් දෙරණ සත්‍ය වශයෙන්ම ස්වෛරීයව ස්වයං පෝෂිතව බාහිර අතපෙවීම්වලට අභීතව මුහුණ දිය හැකි රාජ්‍යයක් බවට පරිවර්තනය කරගත යුතු බවට වූ පණිවුඩය ඔබ සැමට ලබාදීමටත් මෙය අවස්ථාවක් කරගනිමි.

ලක් මවුනි, ඔබටත් සියලුම ලක්වාසී ජනතාවටත් අභිමානවත් 71 වැනි නිදහස් දිනයක් වේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here